ලෝකයේ හොඳම පර්යේෂකයන් 100 දෙනා අතරට තේරුණු ලංකාවේ 24 දෙනා අතර පළමු තැන සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ලෝක විද්‍යා ඇකඩමිය පිරිනමන ෆයාස් අල් කරාෆි සම්මානයද (2020) හිමි කරගෙන සිටින්නීය.
කසල ජෛවස්කන්ධ ජෛව අගුරු බවට පරිවර්තනය කිරීම සහ එය පරිසර දූෂණය අවම කර ගැනීම සඳහා යොදාගැනීමේ වැඩපිළිවෙළට අදාළ පර්යේෂණය වෙනුවෙන් ඇයට මෙම සම්මානය හිමිවී ඇත.මෙම සම්මානය සෑම වර්ෂයකදීම පිරිනමනු ලබන්නේ ලෝකයෙන්ම එක් විද්‍යාඥවරියකට පමණි. විද්‍යා සහ තාක්ෂණය සඳහා අඩු පහසුකම් සහිත රටවල සිටින කාන්තා පර්යේෂිකාවන් අතුරින් අයෙක් මේ සම්මානය සඳහා තෝරා ගැනෙති.
නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු අයදුම්පත් ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව මෙම සම්මානය පිරිනමනු ලැබෙන අතර මේ සඳහා නාමයෝජනා ඉදිරිපත් කරනු ලබන්නේ අදාළ විද්‍යාඥවරියන් විසින් නොවීමද විශේෂත්වයකි.
මෙම සම්මානය සඳහා සලකා බැලුණු ජෛව අඟුරු මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය විසින් නිෂ්පාදනය කරනු ලැබ තිබුණේ කොම්පෝස්ට් සෑදීමේදී ශේෂවන සියයට 50ක් වන අපද්‍රව්‍යවලින්ද කුණු කඳුවලට බහාලන කසළවලින්, ලී කුඩු , බලශක්තිය සදහා ඇල්බීසියා ආදාහනය කළ පසු ඉතිරිවන අඟුරු, වී පොතු (දහයියා) සහ ආක්රමණික පැළෑටි වැනි විවිධ ජෛව ස්කන්ධ යොදාගෙනය.පසෙහි සහ ජලයේ ඇති බැරලෝහ, ප්‍රතිජීවක වැනි ඖෂධ ද්‍රව්‍ය,ග්ලිෆොසේට්, කාබෝෆියුරාන් වැනි ද්‍රව්‍ය අහිතකර මට්ටමට අන්තර්ගතව ඇතිවිට මෙම ජෛව අඟුරු යොදා ගෙන ඒවා උරා උරාගැනීමට සැලැස්වීම මගින් අදාළ මාධ්‍යවලින් විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට හැකියාව ලැබෙන බව පවසන විතානගේ මහත්මිය මෙයට අමතරව සක්‍රිය කළ කාබන් වෙනුවට ජෛව අඟුරු යෙදූ පිරිසුදු කිරිමේ ඒකක සකසා ඒ හරහා අපවිත්‍ර ජලය ගලා යෑමට යෑමට සැලැස්වීමෙන්ද විෂ ඉවත් කිරීමට හැකියාව ලැබෙන බව සඳහන් කළාය.උපුටාගැනීම-Lankadeepa