රාඡපක්ෂ පවුලේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති වරයාගේ මිරිහාන නිවසේ පවත්වා ඇතිබව මව්රට ඉරිදා පුවත්පත මගින් හෙළිකොට ඇත.
ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් නිර්මාණය වෙමින් පැවැතෙද්දී රාජපක්ෂවරුන් අතරද යම් යම් මත ගැටුම් පසුගිය සති කිහිපය තුළ මතු නොවුණාම නොවේ. ඉකුත් කාල වකවානුවලදීද යම් යම් දේශපාලන සිදුවීම් සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල ඇතුළේ මතගැටුම් පැවැතියද ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීම රාජපක්ෂවරුන්ගේ සිරිතය. මෙවරත් යම් යම් දේශපාලන කරුණු මුල් කරගෙන බැසිල් සහ නාමල් සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල ඇතුළේ කිසියම් සංවාදයක් මතුවෙමින් පැවැතිණි. ඒ අනුව මෙවර මෙම සංවාදය විසඳාගැනීමට මැදිහත් වූයේ රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨතමයා වන චමල් රාජපක්ෂය. ඒ අනුව චමල් පසුගිය සතියේ අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පණිවුඩ රැගෙන යන්නාගේ භූමිකාවට පණ පොවනු දැකගත හැකි විය. එසේ පණිවුඩ කිහිපයක් දෙපැත්තට රැගෙන යෑමෙන් පසු රාජපක්ෂ පවුලේ විශේෂ සාකච්ඡාවක් සංවිධාන කිරීමට චමල්ට හැකි විය. එය පැවැත්වුණේ ඉකුත් බදාදා ජනාධිපතිවරයාගේ මිරිහානේ පිහිටි නිවෙසේදීය. ගෝඨාභය, මහින්ද, චමල් හැරුණු විට එම සාකච්ඡාවට වෙනත් කිසිවකුත් සහභාගි නොවූ අතර, අතිශය රහසිගත ආකාරයට එම සාකච්ඡාව තබාගැනීමටද රාජපක්ෂ පවුල පියවර ගෙන තිබිණි.
මෙහිදී රාජපක්ෂ පවුලේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් විවෘත සාකච්ඡාවක් පැවැත්වී ඇති බවක් නිල නොවන ආරංචි මාර්ගවලින් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට තිබේ. විශේෂයෙන්ම සාකච්ඡාවේ මැදිහත්කරු මෙන්ම පවුලේ ජ්‍යෙෂ්ඨතමයා ලෙස චමල්, ආණ්ඩුව ඇතුළේ මේ වන විට මතුව ඇති අර්බුද ගණනාවක් ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත් අවධානයට යොමුකිරීමට පියවර ගත්තේය. විශේෂයෙන්ම ආර්ථික අර්බුදය, විමල් – ගම්මන්පිල මුල්කරගෙන මතුව ඇති අර්බුදය, ප්‍රධාන පෙළේ ලේකම්වරයකු මුල් කරගෙන අගමැතිවරයාට සහ ආණ්ඩුවේ මැති ඇමැතිරුන්ට මුහුණදීමට සිදුව ඇති ප්‍රශ්න, පොහොර අර්බූදය යනාදිය චමල් එකින් එක මෙහිදී විස්තර කළේය. ඒ සම්බන්ධයෙන් යම් යම් තීන්දු තීරණද ඒ මොහොතේදීම ගැනීමට තිදෙනා සමත් වූහ.
ඉන් අනතුරුව සාකච්ඡා වූයේ බැසිල් සම්බන්ධ මාතෘකාවය. 23 වැනිදා බැසිල් ලංකාවට පැමිණීමෙන් පසු බැසිල්ගේ ඉදිරි දේශපාලන භූමිකාව සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. මෙහිදී බැසිල් ලංකාවට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දී පූර්ණකාලීනව දේශපාලනය කිරීමට සූදානම් නම් තමා යටතේ පවතින මුදල් අමාත්‍යාංශය බැසිල්ට භාරදීමට සූදානම් බව මහින්ද මෙහිදී ජනාධිපතිවරයාට දැනුම්දී තිබේ. ඊට ජනාධිපතිවරයා දැක්වූ ප්‍රතිචාරය කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි තොරතුරක් නැතත් අගමැතිවරයා තමාගේ බලතල රැසක් බැසිල්ට ලබාදීමට සූදානම් බවට වූ සහතිකයක් මෙහිදී ලබාදී තිබේ. එසේ මුදල් අමාත්‍යාංශය භාරදෙන්නේ නම් දැනට මතභේදයට තුඩුදී ඇති එක්තරා ප්‍රධාන ලේකම්වරයකු ඉවත් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී තීන්දුවක් ගෙන ඇති බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම පසුගිය සතිය වන විට දේශපාලන ක්ෂේත්රයේ කුණාටුවක් මෙන් පැතිර ගිය තවත් කටකතාවකින් කියැවුණේ ලබන සැප්තැම්බර් මාසයේදී නාමල්ට අගමැති ධුරය ලබාදීමට මහින්ද සැලසුම් කර ඇති බවත්, ඉන් අනතුරුව 2024 ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් අභිෂේක ගැන්වීමට සූදානම් කොට ඇති බවත්ය. ජනාධිපතිවරයාද තමන් යටතේ පවතින කාර්යසාධක බළකා තුනකම ප්‍රධාන පුටුව නාමල්ට ලබාදෙමින් සහ ඩිජිටල් අමාත්‍ය ධුරය නාමල්ට පවරමින් ඒ සඳහා සූදානම් කිරීමක් කරමින් සිටින බවද එම කටකතාවලින් වැඩිදුරටත් කියැවිණි.
මීට අමතරව ඉකුත් සතියේ ජනාධිපතිවරයා තවත් තීරණාත්මක තනතුරක් නාමල්ට පැවරීමට සැලසුම් කර තිබිණි. ඒ වෙන කිසිවක් නොව තමන් බලයට රැගෙන ඒමට විශාල දායකත්වයක් සැපයූ ‘වියත් මඟ’ සංවිධානයේ සභාපති ධුරයය. ඒ අනුව පසුගිය සතියේදී වියත් මග සංවිධානයේ විධායක සභාව කැඳවූ ජනාධිපතිවරයා එහි සභාපති ධුරය නාමල්ට ලබාදෙන ලෙසට ඉල්ලීමක් කිරීමට පියවර ගත්තේය. නමුත් ඒ මොහොතේ රැස්ව සිටි බොහෝ දෙනා ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ එය එතරම් ඥානාන්විත ක්‍රියාවක් නොවන බවත්, අවශ්‍ය නම් ජනාධිපතිවරයා එම තනතුරේ රැඳී සිටිමින් වියත් මග සංවිධානය මෙහෙයවීමේ වගකීම නාමල්ට පැවරීම සුදුසු යැයි කියාය. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් නොගැණින. වියත් මගේ ආරම්භකයා වන නාලක ගොඩහේවා එම සාකච්ඡාවට සහභාගි නොවීමද මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් විය.
මේ ආකාරයට නාමල්ව ආණ්ඩුව ඇතුළේ ශක්තිමත් කරද්දී ඔහුගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන්ද ගෝඨාභය, මහින්ද හා චමල් අතර මෙහිදී සාකච්ඡා විය. අපට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක තීන්දුවක් මෙහිදී රාජපක්ෂවරුන් විසින් ගෙන ඇති බවකි. ඒ, 2024 ජනාධිපතිවරණයට නාමල් ඉදිරිපත් නොකිරීමටය. 2024ට නාමල් ඉදිරිපත් කිරීම ඉක්මන් වැඩි බවත්, 2030 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වන විට නාමල් මුහුකුරා ගිය දේශපාලකයකු වශයෙන් සටනට ඉදිරිපත් විය හැකි බවත්, ඒ දක්වා වූ කාලය අතරතුර නාමල් ශක්තිමත් කළ යුතු බවත් මෙහිදී තීන්දු වී ඇත.
එසේ නම් 2024දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රාජපක්ෂ පවුලේ නියෝජිතයා කවුද?
අපට දැනගන්නට ලැබී ඇති තොරතුරුවලට අනුව මහින්ද මෙහිදී පෙන්වා දී ඇත්තේ නැවත වතාවක් ගෝඨා 2024 ජනාධිපතිවරණයට තරග කළ යුතු යැයි කියාය. නමුත් ඊට ගෝඨාභය ස්ථිර වචනයක් දී නැති බවද දැනගන්නට ඇත. ඒ අනුව බැසිල්ගේ නමද එහිදී 2024 අපේක්ෂකයා ලෙස සාකච්ඡාවට ලක්ව ඇති බව දැනගන්නට ඇත. බැසිල් පාර්ලිමේන්තු පැමිණ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඉදිරි වසර දෙක තුන ඇතුළත රට ආර්ථික වශයෙන් ශක්තිමත් කොට පෙන්වුවහොත් ඔහුටද 2024 අපේක්ෂකත්වය විවෘත බව මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇත. ඒ අනුව නියත වශයෙන්ම 2024 ජනාධිපතිවරණයට රාජපක්ෂ පවුලෙන් ඉදිරිපත්වීමට නියමිතව ඇත්තේ එක්කෝ ගෝඨාභයය. නැතිනම් බැසිල්ය. නාමල් එන්නේ 2030 ජනාධිපතිවරණයටය.
උපුටාගැනීම-ඉරිදා මවුරට